අතුරුගිරියේ නිවසක අභිරහස් මරණයක්

අතුරුගිරියේ නිවසක අභිරහස් මරණයක්

රබර් කිරි කපා ජීවනෝපාය සලසා ගනිමින් තාවකාලික නිවසක හුදකලාව වාසය කළ පුද්ගලයෙකු ඊයේ (19) රාත්‍රී අභිරහස් ලෙස මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, වැල්ලවාය ප්‍රදේශයේ ස්ථිර පදිංචි සිංගප්පුලි රඳාගේ ගාමිණි නමැති (54) හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා අතුරුගිරිය ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි මෙම රබර් වත්තෙහි කිරි කපා ජීවනෝපාය සලසා ගැනීම සඳහා මීට වසරකට පමණ පෙර පැමිණ රබර් වත්ත හා ඊට යාබදව පිහිටි පොල්වත්ත මුර කරමින් එහි පිහිටි නිවසක හුදකලාව වාසය කර ඇතැයි පැවැසෙයි.

එසේ වාසය කළ පුද්ගලයාගේ දෛනික සේවාව පරීක්ෂා කිරීම සඳහා ඉඩම හිමි පුද්ගලයා දිනපතා සවස මොහු හමුවීමට පැමිණෙන අතර සුපුරුදු පරිදි ඊයේ එහි පැමිණි අවස්ථාවේදී මොහු වාසය කළ නිවසේ බිම වැටී සැකකටයුතු ලෙස සිටිනු දැක ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබූණි.

ඒ අනුව, පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී නිරුවතින් බිම වැටී මියගොස් සිටි පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇත

ඒ අනුව, තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා භාරකරුවෙකු පැමිණෙන තෙක් දේහය හෝමාගම මූලික රෝහලේ ශරීරාගාරයේ තැන්පත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබේ.

ඒ අනුව, මෘත දේහය මේ වනවිට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතියකු හෝ නීත්‍යානුකූල භාරකරුවෙකු පැමිණීමෙන් පසුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය.