පුද්ගලයින් 7000ක් අස්වැසුම හොරෙන් අරන් – නීතිමය පියවර ගැනීමට පියවර

පුද්ගලයින් 7000ක් අස්වැසුම හොරෙන් අරන් – නීතිමය පියවර ගැනීමට පියවර

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර Online ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි, ඔහු සඳහන් කළේ.

ඒ අනුව දෙවන අදියරේ අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනි දායින් අවසන් වනු ඇත.

අස්වැසුම සඳහා අලුතින් සුදුසුකම් ලබන පවුල් ලක්ෂ 24කට, ජුනි මාසයේ සිට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

මේ අතර මෙතෙක් කළ අභියාචනා සහ විරෝධතා හේතුවෙන් අස්වැසුම ලැබූ 7000ක් ඉන් ඉවත් කර තිබේ.

ඒ, ඔවුන් ප්‍රතිලාභ ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වීම හේතුවෙනි.

සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගත් පුද්ගලයින්ට ලබා දුන් මුදල් අයකරගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.