සුදුසුකම් ලැබූ අයට අස්වැසුම ප්‍රතිලාභ මෙම මස අවසන් වීමට පෙර

සුදුසුකම් ලැබූ අයට අස්වැසුම ප්‍රතිලාභ මෙම මස අවසන් වීමට පෙර

අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් ඉකුත් වසරේදී රජය වැයකළ මුදල රුපියල් බිලියන 144ක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහන සඳහා මෙවර රුපියල් බිලියන 206ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙරට දිළිදු ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමඟ සිදු කළ සාකච්ඡා වලදී යෙදවීමට යෝජනා වූයේ රුපියල් බිලියන 187ක මුදලක් වුවත් රජය එම ප්‍රමාණය ඉක්මවා යමින් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 62කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (12) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

පූර්ණ විනිවිද භාවයකින් යුක්තව වඩාත් සුදුසුම පාර්ශ්වයන් වෙත අස්වැසුම සමාජ සුබසාධක වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී පවුල් ඒකක ලක්ෂ 20ක උපරිමයකට අස්වැසුම ප්‍රතිලාභ ප්‍රදානය කිරීම අපේක්ෂාව බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.