සිහිනැති වෙන පැණි බීම දී කනකර සුද්ද කළ යුවළක් අත්අඩංගුවට

සිහිනැති වෙන පැණි බීම දී කනකර සුද්ද කළ යුවළක් අත්අඩංගුවට

සිහිය නැතිවෙන බෙහෙතක් කලවම් කළ පැණි බීම පානය කිරීමට ලබාදී සිහිය නැති වූ විගස කනකර පැළඳි රන් ආභරණ දුරකථන සහ මුදල් පසුම්බියේ ඇති මුදල් කොල්ලකන තවලන්තැන්න හා වටවල ප්‍රදේශයේ පදිංචි අනියම් යුවලක් (17) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එස්.රාජසිංහ මහතා පැවසිය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොත්මලේ තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි සෙල්ලයියා සසිකුමාර් (වයස අවු:46) හා වටවල පදිංචි සුභාෂ් සෙල්වරාණි (වයස අවු: 39) නම් කාන්තාවකි.

මිහිරියගල දෙමෝදර පදිංචි කාන්තාවක් ඉකුත් (31) දින නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගැනීමට බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේදී සැකකාර යුවල පැමිණ අම්මා ඔයා කොහෙද යන්නේ? මොනවද කරන්නේ ? යනුවෙන් පවසා ක්ෂණික හැදුනුම්කමක් ගොඩනගාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා එම කාන්තාව ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන කෙනෙකු බව හඳුනාගෙන එම පවුලට ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට සහයෝගය ලබා දෙනවා යැයි පවසමින් නිමි ඇඳුම් කිහිපයක් ඇයට ලබාදී සැකකරුවන් දෙදෙනාගේ දුරකථන අංකයද ලබාදී නිමි ඇදුම් කිහිපය අලෙවි කිරීමෙන් පසු දැනුම් දෙන ලෙස පවසා ඇත.

ලබාදුන් නිමි ඇදුම් කිහිපයක් විකුණා නිමි ඇදුම් කිහිපයක් ඉතිරි වි ඇති බවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුව එම සැකකාර යුවල පවසා ඇත්තේ එම රෙදි රැගෙන නුවරඑළියට පැමිණෙන ලෙසත් තවත් අලෙවි කිරීමට රෙදි පිළි තොගයක් ලබාදෙන බව පවසා ඇත.

එම කාන්තාව සිය පුතා සමග නුවරඑලිය නගරයට පැමිණිමෙන් පසු සැකකාර යුවල දුරකථන ඇමතුමක් ලබා දි නුවරඑළිය පොදු වෙළදසැල අසලට පැමිණෙන ලෙස පවසා එහිදී නාදුනන පිරිමි පුද්ගලයා හා එම කාන්තාව කතා බහ කරමින් සිටින අතරතුරදි ගමන් මහන්සිය නිවා ගැනිමට බීම වර්ගයක් සහ රෝල්ස් වගයක් ලබා දි තිබේ.

එම රෝල්ස් සහ බීම පානය කිරීමෙන් අනතුරුව එම කාන්තාව සහ ඇයගේ පුතා සිහිය නැති වි ඇති අතර , ඔවුන්ට සිහිය පැමිණෙන විට ඔවුන් නුවරඑලිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

පොලිසිය මගින් සිදුකළ විමර්ශනයේදී ඔවුන් සඳහන් කර ඇත්තේ රෝහල් ගත කල කාන්තාව සතුව තිබුණු රණ් තැල්ලක් , කරාබු ජෝඩුවක් , රන්මාලයක් ඇතුළු ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ සහ අතේ තිබුණු රුපියල් 5000ක මුදලක් රුපියල් 5000 වටිනා දුරකථනයක් හා පුතා සතුව තිබුණු මිල අධික ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන්ගේ අනන්‍යතාවය නොදන්නා බවට මව සහ පුතා පැවසීමෙන් අනතුරුව සිද්ධිය වු ස්ථානයට නිරීක්ෂණය සදහා ගිය නුවරඑළිය පොලිස් නිලධාරීන් අවට වෙළදසැල් කිහිපයක සීසිටීවී දර්ශන පරීක්ෂා කරමින් ඉතාම සූක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

එලෙස සැකකාරු පන්නිල ප්‍රදේශයෙන් හා සැකකාරිනිය වටවල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පැවසීය.

සැකකරු හා සැකකාරිනිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ දැනට දින කිහිපයකට ප්‍රථම මාස තුනක සිර දඬුවමක් ද ලබා නිදහස්වී පැමිණ නැවත මෙවන් වූ නීති විරෝධී ක්‍රියාවල යෙදී කොල්ලකෑම් සිදු කරන අතර මෙලෙසම ස්ථාන කිහිපයකම සිදු කර ඇති බවයි.

සැකකරුට හා සැකකාරිනිය යන දෙදෙනාට එරෙහිව මහනුවර යාපනය බණ්ඩාරවෙල ජාඇල කුරුණෑගල හැටන් පොලිස් ස්ථාන වලද පෙර වැරදි සටහන් වී ඇති බවද පොලිසිය පැවසිය.

සැකකරු හා සැකකාරිණිය (18) දින නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා එළඹෙන (29) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර (29) දින පැමිණිලිකාර පාර්ශවය හා සැකකරු හා සැකකාරිනිය අධිකරණය වෙත කැඳවා හඳුනා ගැනීමේ පෙරටුවවක් පැවැත්වීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දනී මහත්මිය නියෝග කර ඇත.

Share This