දියනාමින් සිටි දෙදරු මව ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

දියනාමින් සිටි දෙදරු මව ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව ලුණුගල පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනය ලක් වූයේ, ලුණුගල ජනතාපුර තුඹපිටියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

ඇය 19 වනදා සවස 3.00ට පමණ සිය 11 හැවිරිදි පුතා සමග නිවසට පහළින් ඇති කුඹක්කන් ඔයේ දියනෑමට ගොස් තිබුණා.

පුතාට දිය නාවා ගෙදර යවා මද වේලාවකින් මව කෑගසන හඬ ඇසී ඇයගේ 17 හැවිරිදි දියණිය එම ස්ථානයට යන විට, මව හිසේ සහ මුහුණේ ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දැක පොලීසියට දන්වා තිබුණා.

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බුද්ධි අංශයේ නිලධාරින් ද යොදවා පුළුල් විමර්ශන සිදුකළ බවත් සැකකරු කැලෑ පාරකින් ලුණුගල නගරයට එමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ලුණුගල පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ ප්‍රකාශය මත මෙම ඝාතනයට අනුබල දුන් සැකකරුගේ මිතුරෙක්ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු හා මරණකාරිය අතර කලක සිට පවුල ආරවුල් පැවති බවත්, ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සැකකරුට නිසි අවසරයකින් තොරව එම නිවසට යාම තහනම් කර තිබූ බවත් පොලීසිය පැවසුවා.

තමා කුඹුක්කන් ඔය අසල සැඟවී සිට බිරිඳ පුතාව නාවා ගෙදරට ඇරලවීමෙන් පසු තනියම දියනාමින් සිටි බිරිඳ වෙත කඩාපැන ඇයට පහරදුන් බවත් ඇය වැටුණු පසු විශාල ගලක් ගෙන මුහුණට අතහැරිය බවත් සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

45 හැවිරිදි සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය පැවසුවා.

Share This