අවුරුදු 14ක මුණුබුරා ආච්චිගේ මෙට්ටේ යට තිබූ ලක්ෂ 15කට විදලා

අවුරුදු 14ක මුණුබුරා ආච්චිගේ මෙට්ටේ යට තිබූ ලක්ෂ 15කට විදලා

ජාත්‍යන්තර පාසලක 14 හැවිරිදි සිසුවෙකු දොඩංගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ මිත්තණියට අයත් රුපියල් මිලියන 1.5 ක මුදලක් සොරාගත් බවට කළ පැමණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලිසිය පවසන්නේ.

දොඩංගොඩ මිනුවන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් මෙම මුදල් සොරාගෙන ගොස් ඇති බවට දොඩංගොඩ පොලිසියට සැකකාර සිසුවාගේ මිත්තණිය විසින් පසුගිය ජනවාරි 31 වනදා පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාළ කාන්තාව පදිංචි නිවසේ නොසිටි අවස්ථාවේ සිසුවා ඉනිමගක් භාවිත කර වහලයෙන් ගොඩවී මුදල් සොරාගෙන ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ පොලිස් පරීක්‍ෂණයකින් මුනුපුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දිනයේ සිසුවා පාසලට නොපැමිණි බවත්, තම මිත්තණියගේ නිවසට ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී ඇය නිවසේ නොසිටි බව සොයා ගෙන ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව ඔහු වහලය හරහා නිවසට ගොඩවී තම ආච්චිගේ කාමරයට ඇතුළු වී ඇති අතර එහිදී ඇඳේ මෙට්ටය යට සැඟවූ ලක්ෂ 15ක් මුදලක් සොරාගෙන තිබෙනවා.

මෙම දරුවා මුදල් සහ ලැප්ටොප් පරිගණකයක් රැගෙන පිටව ගොස් ඇති අතර, පසුව එම මුදල් ඥාතියෙකුගේ වත්තක වළ දමා ලැප්ටොප් පරිගණකය එම ඉඩමේ තිබු ළිඳකට දමා ගොස් ඇති බව සඳහන්.

ඔහු ලක්ෂ 10ක මුදලක් ද විවිධ පුද්ගලයින් සමඟ වියදම්කර ඇති බවයි විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

කොල්ලකෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.