විවාහ වී මාසයයි – බිරිඳ ඝාතනය කර වල දැමූ සැමියා අත්අඩංගුවට

විවාහ වී මාසයයි – බිරිඳ ඝාතනය කර වල දැමූ සැමියා අත්අඩංගුවට

විවාහ වී මාසයක් ඉක්ම යාමටත් පෙර සිය බිරිද ඝාතනය කර නිවස පිටුපස වළ දමන ලද මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ සැමියෙකු පොලීසිය විසින් ඊයේ (24) දා කොළඹදී අත් අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් මුල්ලියාවලෙයි වාප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.ගීතා නැමති කාන්තාව මරා නිවස අසලම වළදමා තිබියදී මුල්ලියාවලෙයි පොලීසියේ නිලධාරීන් පිරිසක් එහි ගොස් මියගිය කාන්තාවගේ මළ සිරුර ගොඩ ගෙන තිබේ.

මේ කාන්තාව මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් කුමරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී දින කීපයකට පසුව කුළී පදනම මත ලබා ගත් නිවසක පදිංචියට පැමිණ ඇත.

එදා සිට ඇය සිය මවට දුරකතනයෙන් දිනපතාම කතා කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇතත් ඔක්තෝබර් මස 21 වෙනිදායින් පසුව මවට ඇගෙන් කිසිදු ඇමතුමක් ලැබී නොමැත.

මව විසින් දුරකතන අමතුම් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඇගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා මව ඇයව බැලීමට කුලී නිවස වෙත ගොස් තිබේ.

ඒ අවස්ථාවේදී නිවසේ කීසිවෙකු සිට නොමැති අතර මව ඒ අවට සෝදීසි කිරීමේදී අලුතින් කපන ලද වළක් පස් වලින් වසා දමා තිබෙනු දැක ඇත.

මේ සිද්ධිය ගැන සැක සිතු මව මුල්ලියාවලෙයි පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ වළ පරීක්ෂා කිරීමේදී මරා වළ දමන ලද කාන්තාවගේ මළ සිරුර හමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව ස්වාමියා අත් අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

ඒ වන විට කොළඹ වැල්ලම්පිටියට ගොස් සිටි ඇයගේ ස්වාමිපුරුෂාය මුල්ලියාවලෙයි පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.