“මුතු රාජා” ලංකාවෙන් යයි

“මුතු රාජා” ලංකාවෙන් යයි

තායිලන්තය විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් “සක්සුරින්” අද (02) උදෑසන යළි තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය.

මෙම ඇතා අලුත්ගම, කන්දෙවිහාරය වෙත රැක බලා ගැනීම සදහා භාර දී තිබුණි. මෙම ඇතා ගුවන් මගින් රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් – 76 වර්ගයේ , ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය මස 30 වනදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා අද අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

ඉන් අනතුරුව අද අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරුණි.

රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ (Aviacon Zitotrans) ඒ.එසෙඩ්.එස්.- 5701 ( AZS – 5701 ) දරන ගුවන් යානය අද උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන්, තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය.

මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාළයක් ගත වන බව සදහන් වේ.