යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීමට රජයේ සූදානමක්

යුද හමුදාව ලක්ෂයකට අඩු කිරීමට රජයේ සූදානමක්

2030 වසර වන විට දැනට රටේ සිටින දෙලක්ෂ අට දහසක් වූ හමුදාවෙන් අඩකට වඩා අඩු කර යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රජයේ ආරක්ෂක සමාලෝචනය සඳහා පත්කළ විද්වත් මණ්ඩලයක නිර්දේශ මත ජනාධිපතිවරයා සහ ආරක්ෂක මණ්ඩලය විසින් මෙම තීන්දුව ගෙන ඇති බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

යුද කාලයෙන් පසු වත්මන් සහ අනාගත තර්ජන පිළිබඳ සැලකිල්ලට ගෙන මෙරටට ගැලපෙන පරිදි යුද හමුදාවක් සකස් කිරීම රජයේ අරමුණ බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පවතින භූ දේශපාලනික තත්ත්ව යටතේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමේ තීන්දුවක රජය සිටින බව ද අමාත්‍යවරයා කියයි.

“යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ රටට ගැළපෙන ආකාරයේ හමුදාව සකස් කරගැනීම තමයි ජනාධිපතිවරයාගෙත් රජයේත් ආරක්ෂක මණ්ඩලයේත් බලාපොරොත්තුව. ඒ අනුව ආරක්ෂක සමාලෝචනය 2030 කියන වැඩසටහන යටතේ වෙනම විද්වත් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ අනුව අපි සංඛ්‍යාත්මක වශයෙන් හමුදාව 208,000ක කාඩර් එකක් ඉන්නවා. ඒක ලක්ෂයක් දක්වා ගේන්න තමා අපේ බලාපොරොත්තුව. අපි කිසිම කෙනෙකුව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සංඛ්‍යාත්මකව අපි හදලා තියෙනවා ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කරලා 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාව තබා ගැනීම තමා අපිට දැනට තියෙන බලාපොරොත්තුව. ඒ වගේම නාවික හා ගුවන් හමුදාව ශක්තිමත් කරන්න ඕනේ. භූගෝලීය වශයෙන් අපි ඉන්නේ ඉතාම සංකීර්ණ වැදගත් තැනක. ඒ නිසා නාවික හමුදාව ශක්තිමත් කිරීමත් අපි වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.”