අපේක්ෂා රෝහලට පැමිණෙමින් තිබූ බස්රථයකට ප්‍රහාරයක්

අපේක්ෂා රෝහලට පැමිණෙමින් තිබූ බස්රථයකට ප්‍රහාරයක්

ආණමඩුව නගරයේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ආඩිගම නගරයේදී අද (07) දින උදෑසන අංක තහඩු රහිතව පැමිණි යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කල ගල් ප්‍රහාරයකින් ඉදිරිපස වීදුරුවට දැඩි ලෙස හානි වී ඇත.

මෙම ප්‍රහාරයෙන් රියදුරු නූලෙන් බේරි ගොස් ඇති බව වාර්තා වෙයි.

ආණමඩුව නගරයේ සිට උදෑසන 6 ට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන් බැලීම සදහා යන ඥාතින් හා එම රෝහලට සායන සදහා සහභාගි වන රෝගීන් රැගෙන මෙම බස් රථය ගමන් කර ඇත.

එකවර ආ ගලෙන් බස් රථයේ රියදුරු හෝ එහි ගමන් ගත් මගීන්ට කිසිදු ආකාරයක තුවාලයක් සිදුව නැති බවත් බස් රථයේ ඉදිරිපස වීදුරුවට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පොලිසිය කියයි.

හලාවත ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය ආණමඩුව නගරයේ සිට ධාවනය වීම හේතුවෙන් නවගත්තේගම ආණමඩුව හා අවට ප්‍රදේශ වල රෝගීන්ට හා අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලිමට යන අයට මහත් අස්වැසිල්ලක් වී තිබුණි.

කෙසේ නමුත් මෙම ගල් ප්‍රහාරය එල්ල කල පිරිස් හදුනා ගැනීමට ආණමඩුව පොලිස්ථානයේ නිළධාරීන් අවට ප්‍රදේශ වල සීසීටීවී කැමරා දර්ශන නිරික්ෂණය කිරීමේ කටයුතු කරමින් සිටින බව පවසයි.