පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් සේවාවක්

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරයට විශේෂ බස් සේවාවක්

අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අනුරාධපුරය, තන්තිරිමලේ, මිහින්තලය පුජනීය නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

ඊට අමතරව සිතුල්පව්ව පූජා භුමිය හා කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින් ද බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු සැලසුම් කර තිබෙන බව සඳහන්.

මෙහිදී මධ්‍යම බස්රථ කාර්යාලය, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල, කුරුණෑගල ප්‍රධාන බස් නවතුම්පොලෙහි සිට පැය 24 පුරා ආවරණය වන පරිදි අනුරාධපුරය දක්වා බස්රථ යෙදවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහව, ගල්ගමුව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය හා කැකිරාව යන නගර වල සිට අඛණ්ඩ බස් රථ සේවාවක් අනුරාධපුරය හා මිහින්තලය ආවරණය වන පරිදි යොදවන බවයි වාර්තා වන්නේ.

දුම්රියෙන් පැමිණෙන බැතුමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර නගරය දක්වා ශ්‍රී ලංගම බස්රථ සේවාවක් දුම්රිය කාල සටහන් අනුව ක්‍රියත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන්.

ඒ සඳහා අවශ්‍ය බස්රථ මහව, ගල්ගමුව හා වාරියපොළ, ශ්‍රී ලංගම ඩිපෝ මගින් යෙදවීමට උපදෙස් ලබා දී තිබේ.

සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා යොදවා ඇති අතිරේක බස්රථ ප්‍රමාණය 400ක් පමණ වන බවයි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනු ලබන්නේ.

මෙම බස්රථ සේවාවන් ජුනි මස 20 වන දින පස්වරුවේ සිට ආරම්භ වන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

අදාළ බස්රථ සේවාවන් පිලිබඳ විස්තර 1958 දුරකථන අංකය ඇමතීමෙන් හෝ මධ්‍යම බස්රථ කාර්යාලයේ විමසීම් අංශයේ දුරකථන අංක 011-2328081 හෝ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) ගේ දුරකථන අංක 077-1065032 ඇමතීමෙන් ලබා ගත හැකිය.

තව ද, මාර්ග ගත ක්‍රමය ඔස්සේ https://sltb.eseat.lk/ යොමුව මඟීන් හෝ 1315 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සපයා ඇත.