අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50න් 5ක් උසාවි දමා ඉති­රිය බයිට් එකට ගත් අකුරැස්ස ක්‍රයිම් OIC ට උන දේ

අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50න් 5ක් උසාවි දමා ඉති­රිය බයිට් එකට ගත් අකුරැස්ස ක්‍රයිම් OIC ට උන දේ

වැටලීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල් ඌරුමස් කිලෝ 5ක් පමණක් ඉදිරිපත් කර, ඉතිරි කිලෝ 45 පොලිසියේ සාදයකට ගැනීමක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙරේදා (4) පියවර ගෙන තිබේ.

මෙම නිලධාරියා රාජකාරියේ නිරතව සිටියදී ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සමඟ පරදූව වතුයායට ගොස් විදුලි උගුලක් අටවා මරාදමා තිබුණු වල් ඌරකුගේ මස් කිලෝ 50ක තොගයක් සමග පුද්ගල‍යකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කරයි .

එම මස් තොගය පොලිස් ස්ථානයට රැගෙන විත් සැකකරු සමඟ අධිකරණයට කිලෝ 5ක පමණ ප්‍රමාණයක් ඉදිරිපත් කර සෙසු මස් තොගය පොලිසියේ නිලධාරියකු වෙනුවෙන් පැවැත්වූ සාදයක කට ගැස්මකට ලබා දී තිබේ.

නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මේ නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීර­සිංහ

Share This