අකුරණ ට බෝම්බ බියක්

අකුරණ ට බෝම්බ බියක්

රමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුල අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවීමක් සිදු වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (18) සවස් කාලයේ සිට අකුරණ ප්‍රදේශයේ සියලු මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන වලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

මුස්ලිම් ජනතාව මාසයක් උපවාසය සුරැකීමෙන් පසුව ලබන 22 වනදා රමසාන් උත්සවය සැමරීමට සූදානමින් සිටිති. මේ සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිළ දී ගැනීමට විශාල පිරිසක් නගර කරා පැමිණෙන අතර ආගමික කටයුතු සඳහාද විශාල පිරිසක් දේවස්ථාන කරා ද පැමිණෙති.

මෙම තත්වය හමුවේ මෙම කාල සීමාව තුල අකුරණ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවීමක් සිදු විය හැකි බවට පොලීසිය වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක් මත පොලීසිය මගින් සියලු දේවස්ථාන දැනුවත් කිරිමට පියවර ගෙන ඇති අතර දෙවස්ථාන මගින් ජනතාව දැනුවත් කිරිමටද පියවර ගෙන තිබේ.

මෙම තත්වය හමුවේ, ජනතාව දැඩි ආරක්ෂාකාරි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවත් නාඳුනන පුද්ගලයෙකු දුටුවහොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනතාව වැඩි වශයෙන් එක් රොක් නොවිය යුතු බවත් නිරන්තරයෙන් සුපරීක්ෂාවෙන් සිටින ලෙසත් පොලීසිය ජනතාගෙන් ඉල්ලා සිටියි. කෙසේ නමුත් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් සියලු ආරක්ෂාව පොලිසිය සහ හමුදාව එක්ව ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

මහනුවර – මොහොමඩ් ආෂික්

Share This