අටවන ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම සාර්ථකව නිම කෙරේ

අටවන ජාතික ගුවන් බීජ, බෝම්බ මෙහෙයුම සාර්ථකව නිම කෙරේ

ශ්‍රී ලංකාවේ වන ගහනය වර්ධනය කිරීම, තිබෙන වනාන්තර වල ගුණාත්මක භාවය නැංවීම සහ වන සතුන්ට වාසස්ථාන ඇති කිරීම එමගින් වන සතුන් ගම් වැදීම වලකා ගැනීම වැනි කරුණු මූලික කර ගනිමින් ගුවනින් ගොස් බීජ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් බිම හෙළීමේ වැඩ සටහනක් ඊයේ ( 30 දා) අනුරාධපුරයේ දී සිදු කෙරිණි.

අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගම්පලයාගම යෝජිත රක්ෂිතයේ අක්කර 40 ක (හෙක්ටෙයාර්16ක්) භූමි ප්‍රදේශයක මෙහිදී කුඹුක්, මී, මදටිය, පලු, වීර සහ කොහොඹ බීජ අසූ දහසක් හෙලිකොප්ටර්යකින් ගොස් බිම හෙලීම මෙහිදී සිදු කල අතර එම වැඩ සටහන අටවන ජාතික ගුවන් බීජ බෝම්බ මෙහෙයුම ලෙස නම් කර තිබුණි.

වර්ෂා කාලය ආරම්භ වීමත් සමග, ලඳු කැලෑ, යෝජිත රක්ෂිත ප්‍රදේශ මූලික කර ගනිමින් දැවමය ශාක, පළු වැනි සතුනට ආහාරමය ශාක බීජ මෙම මෙහිදී බිම හෙලූ අතර මේ මගින් වන ගහනය වැඩි කිරීම මූලික අරමුණ වන අතර, එමගින් වන සතුනට ආහාර මෙන්ම වාසස්ථානද ලැබෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. එම්. ඒ බණ්ඩාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දිසා වන නිලධාරී හේමන්ත විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස් මහතාගේ සම්බන්ධීකරණයෙන්, ඇලයාපත්තුව කේෂ්ත්‍ර නිලධාරි සදීෂ නවගත්තේගම ඒ සඳහා දායක වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ ,ගුවන් හමුදා සුභ සාධක අංශෙ අධ්‍යක්ෂ ජෙනරාල් එයා කොමදෝරු පී. එස්. එන් ප්‍රනාන්දු, ගුවන් හමුදා කෘෂිකාර්මික අංශයේ අධ්‍යක්ෂ එයා කොමදෝරු එරන්දික ගුණවර්ධන, අණදෙන නිලධාරි නිලධාරී ගෘරූෆ් කැප්ටන් එච්. බී.ඩී. සමරතුංග, අනුරාධපුර මූලික ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී ගෘරෑෆ් කැප්ටන්, එම්. ඒ. ආර්. ටී. මුණසිංහ මහතා, අනුරාධපුර 6 වන හෙලිකොප්ටර් බලකාය, කෘෂි ඒකකයේ සියළුම නිළධාරීන් සහ සෙසු නිලයන් මේ සඳහා දායකත්වය ලබා දී තිබුණි.