පළමු විස්සයි 20 තරඟයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

පළමු විස්සයි 20 තරඟයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දඹුල්ලේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කළේය. නායක වනිඳු හසරංග පන්දු 32කදී වේගවත් ලකුණු 67ක් වාර්තා කිරීමට සමත්වූ අතර අනෙක් කිසිම පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට නොහැකි විය.

ලකුණු 161ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 156ක් පමණි.

ඇෆ්ගනිස්ථාන මුල්පෙළ පිතිරුවන් ලංකාවට අභියෝගයක් වෙමින් වේගයෙන් ලකුණු රැස්කිරිමට කටයුතු කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඇෆ්ගනිස්ථානයට අභියෝගයක් වෙමින් කඩුලු ලබා ගැනීමට කටයුතු කළේය.

ආරම්භක පිතිකරු මෙන්ම නායක ඊබ්‍රහිම් පන්දුවාර 20 අවසන් වන තෙක් ක්‍රීඩා කරමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණයට කැඳවා ගෙන යාමට උත්සාහ කළත් එයද ව්‍යවර්ථ විය.

මෙහිදී පන්දුවාර 18ක් අවසානවන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 2කදී රැස්කළ යුතුව තිබුණ ලකුණු සංඛ්‍යාව 14කි.

එහෙත් තීරණාත්මක 19 වැනි පන්දුවාරය යොමුකළ මතීෂ පතිරණ එම පන්දුවාරයේදී ප්‍රතිවාදී කඩුලු 2ක් දවා ගනිමින් ලබාදුන්නේ ලකුණු 3ක් වන අතර ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ලංකාවට අවස්ථාවක් නිර්මාණය විය.

අවසන් පන්දුවාරය යොමුකළ බිනුර ප්‍රනාන්දුගේ පළමු පන්දු 4 තුළම එක් ලකුණක් හෝ රැස් කිරීමට ඊබ්‍රහිම්ට නොහැකි වූ අතර පස්වැනි පන්දුවට ලකුණු 2ක් හා අවසන් පන්දුවට ලකුණු 4ක් රැස්කළත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

දසුන් ශානක පන්දුවාර 2කදී ලකුණු 17ට කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය. මතීෂ පතිරණ පන්දුවාර 4කදී ලකුණු 24ට කඩුලු 4ක් දවා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.