ජල නලයක මෝටර් රථයක් ගැටී අනතුරක් – ලක්ෂයකට දැනුම් දෙනතුරු වතුර නෑ

ජල නලයක මෝටර් රථයක් ගැටී අනතුරක් – ලක්ෂයකට දැනුම් දෙනතුරු වතුර නෑ

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන ජල නලයක මෝටර් රථයක් ගැටී පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ අනුව ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවා තිබේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වි තිබේ.

අනතුරට පත් මෝටර් රථයෙහි සිටි රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ බවත් ඔවුන් දෙදෙනාට සුළු තුවාල පමණක් සිදුව තිබූ බවත් පොලිසිය පවසයි.

අදාල මෝටර් රථය අධික වේගයකින් පැමිණ මාර්ගයෙන් ඉවතට පැන ජල නලයෙහි ගැටී යළි ගොඩබිමට වැටී උඩුකුරුව පෙරලී ඇත.

මෙම ජල නලයට දැඩි ලෙස හානි සිදුවීම නිසාවෙන් කොළඹට ජලය සැපයීම යම් කාල සීමාවක් ප්‍රමාද විය හැකි බව ජල සම්පාදන මණ්ඩලයේ මහරගම කලාප කාර්යාලය පවසයි.