ත්‍රීරෝද රථ අනතුරකින් සීයා , මුණුපුරා සහ මිණිපිරිය ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථ අනතුරකින් සීයා , මුණුපුරා සහ මිණිපිරිය ජීවිතක්ෂයට

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු එතැනම මියගොස් ඇති අතර දෙදෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු ඇල්පිටිය මූලික රෝහලේ සහ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරුවන ඇල්පිටිය,වල්ලඹගල, සුගතපාල මාවතේ පදිංචි කාලිංග නිහාල් සෝමරත්න නැමැති 68 හැවිරිදි තිදරු පියෙක් සහ ඔහුගේ (දියණියගේ පුතා සහ දුව )මුණුබුරා වන. තිනූල ප්‍රනාන්දු (10),මිණිබිරිය වන සෙනුලි ප්‍රනාන්දු (07), යන දරුවන් දෙදෙනායි.

ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි මියගිය රියදුරුගේ බිරිඳ වන මද්දගේ වයලට් ඉන්ද්‍රානී (61) ඔහුගේ දියණිය වන කාලිංග ජීවනී සෝමරත්න (35),යන දෙදෙනාද දැනට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මිණිබිරිය වන චතුනි කවිශා ප්‍රනාන්දු ((18) , ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරෙන් තුවාල ලැබූ පස් දෙනාම ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් හතර දෙනෙකු බරපතල තුවාල ලබාසිටි හෙයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) අළුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇල්පිටිය දෙස සිට අවිත්තාව දෙසට යමින් තිබූ ත්‍රීරෝද රථය අවිත්තාව දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ මුහුණ්ට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් ,ලොරි රථය පාරෙන් ඉවතට පැන කණ්ඩියකට හේත්තුවී නැවතී ඇති අතර ත්‍රීරෝද රථය මීටර් විස්සක් පමණ ඈතට විසිවී ගොස් පරෙන් ඉවතට පැන තිබූ බවත් පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියදුරු සමග තවත් පස් දෙනෙක් ගමන්කර ඇති අතර ලොරි රථයේ මගීන් අටදෙනෙකු ගමන් කර ඇති බවත්,ලොරියේ ඉදිරිපස පස් දෙනෙකු හා පිටුපස තුන් දෙනෙකු සිට ඇති බවත් පොලිසිය කියයි.

ලොරි රථයේ ගමන් කරමින් සිටි කිසිවෙකුට මෙම අනතුරෙන් තුවාල සිදුවී නැත.මියගොස් සිටින ත්‍රීරෝද රථයේ රියදුරුගේ දියණිය වන තුවාල ලබා සිටින ජීවනී සෝමරත්න යන අය ඇල්පිටිය දිසා අධිකරණයේ සේවය කරන අයෙක් බවද දැනගන්නට තිබේ.

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සිද්ධියෙන් පසුව පළාගොස් සිට පසුව පොලිසියට භාරවූ බවද පොලිසිය පවසයි.

ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතාගේ උපදෙස් මත ඇල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මියගොස් සිටින කාලිංග නිහාල් සෝමරත්න මහතාගේ සිරුර ඇල්පිටිය මූලික රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ආර්.ගාමිණි ඩයස් මහතා විසින් අද (21) ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.