ජනපති සිංගප්පූරුවට

ජනපති සිංගප්පූරුවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.

ජනාධිපතිතුමා සිය සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති, අගමැති, ආරක්ෂක සහ පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවීමට නියමිතයි.

එහිදී පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් විමෝචනය පිළිබඳව දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ද, නියමිත ය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් එච් එස් සමරතුංග යන මහත්වරුන් ද එම සංචාරයට එක්ව සිටී.

මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශ අධීක්ෂණය සඳහා වැඩබලන අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ඒ අනූව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස, ෂෙහාන් සේමසිංහ මහතාත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත් පත් කෙරිණ.

අනූප පැස්කුවල් මහතා පත්කර ඇත්තේ, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙසයි.

Share This