ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 09 ක් මරුට – 3,000කට අධික පිරිසකට තුවාල

ලෙබනනයේ පිපිරීම් මාලාවක් – 09 ක් මරුට – 3,000කට අධික පිරිසකට තුවාල

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සිය පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නා “පේජර් පණිවුඩ හුවමාරු” යන්ත්‍ර එකවර පුපුරා යෑමෙන් හිස්බුල්ලා සාමාජිකයන් 09 දෙනකු මියගොස් 3,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, තුවාල ලැබූවන්ගෙන් 200 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද එරට සෞඛ්‍ය අමත්‍යාංශය සඳහන් කර තිබේ.

ලෙබනනය පුරා, හිස්බුල්ලා සාමාජියන් සියලු දෙනා භාවිතයට ගන්නා පේජර් යන්ත්‍ර, එකම වේලාවක් ඇතුළත දී මෙසේ පුපුරා ගිය බව පැවැසෙයි.

‘පේජර්’ යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑම ආරම්භ වී ඇත්තේ, දකුණු බේරූට් නගරයෙන් වන අතර එම යන්ත්‍ර සියල්ල එකම වේලාවක පුපුරා යෑමට සැලැස්වූයේ ඊශ්‍රායලය බවට හිස්බුල්ලා සංවිධානය චෝදනා කරයි.

මාර්ග අසල, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්වලදී මෙන්ම නිවෙස් ආශ්‍රිතව මෙම පිපිරීම් සිදුව තිබේ.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් අලුතින් හඳුන්වා දී තිබෙන රේඩියෝ සංඥා ජෑමර් පද්ධතිය උපයෝගී කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම සිදුකර තිබෙන බව සඳහන් වේ.

මියගිය හිස්බුල්ලා සාමාජිකයන් 09 දෙනා අතර ලෙබනන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි.

හිස්බුල්ලා සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය.