ඊශ්‍රායලයේ දී මිය ගිය යටවර බණ්ඩාරට වන්දි

ඊශ්‍රායලයේ දී මිය ගිය යටවර බණ්ඩාරට වන්දි

ඊශ්‍රායලයේදී මියගිය යටවර බණ්ඩාර හට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එමෙන්ම ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි සුජිත් බණ්ඩාර යටවර අතුරුදන් වූ බව වාර්තා වූයේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.

ඔහු හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටිය හැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පසුගිය 31 වැනිදා දැනුම් දී තිබුණා.

නමුත්, සුජිත් බණ්ඩාර යටවර මියගොස් ඇති බවට තහවුරු වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා තහවුරු කළා.

ඒ ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල ඔස්සේ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුවයි.

වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යටවර මහතා, මිය යන විට 48 වැනි වියෙහි පසු වුණා.

2018 වසරේ දී සාත්තු සේවකයෙකු ලෙස ඊශ්‍රායලයේ සේවයට ගොස් තිබූ ඔහු වයස අවුරුදු 8ක පුතෙකුගේ සහ වයස අවුරුදු 13ක දියණියකගේ පියෙක් ද වනවා.

මේ අතර යටවර බණ්ඩාර ගේ මරණය ගැන ඔහුගේ බිරිඳ මෙලෙස අදහස් පළ කළාය,

“ඊයේ වෙනකම් අපි හිතන් හිටියේ ජීවතුන් අතර ඉන්නවා කියලා. මම ආයෙත් තානාපතිතුමාට කථා කළා… ඒකත් විශ්වාස නෑ කියලා මගේ හිත කියපු හින්දා. තානාපතිතුමා කථා කරලා කිව්වා දුවලගේ DNAවලට ගැලපෙනවා කියලා.. ඔයා හිත හදාන්න කියලා. මහත්තයාගේ එකම හීනය වුණේ දුවව රටකට යවන්න. හැමෝටම කියලා තියෙනවා ආයේ ලංකාවට යන්නේ දුවව රටකට යවලා කියලා.”