ශ්‍රී ලංකා නෙදර්ලන්ත අවසන් තරගය අද

ශ්‍රී ලංකා නෙදර්ලන්ත අවසන් තරගය අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වේ.

තරඟය මෙරට වේලාවෙන් අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හරාරේහිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩා කළ සියලු තරග ජය ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් සමන්විත නෙදර්ලන්තය ක්‍රීඩා කළ තරග අතරින් තරග දෙකක් පරාජය විය.

කෙසේ වෙතත්, මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

මේ අතර, නෙදර්ලන්තය සමඟ අද පැවැත්වෙන එක්දින තරගයේදී ලෝක වාර්තා දෙකක් සම කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වෙයි.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී අඛන්ඩව තරග 10 ක් ජයග්‍රහණය කිරීමේ වාර්තාව සහ පිට පිට වැඩිම වරක් ප්‍රතිවාදී කඩුලු‍ දහයම දවාගත් වාර්තාවයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම 2004, 2006 සහ 2014 වසරවලදී මෙලෙසින් තරග 10 බැගින් අඛණ්ඩව ජයගෙන තිබුණී.

ඒ අනුව, අද තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව එලෙස සුදුසුකම් ලැබීමේ තරගාවලියක ශූරතාව දිනාගන්නේ වසර 44 කට පසුවයි.