පොලිස්පති ගැන අවසන් තීරණය අද

පොලිස්පති ගැන අවසන් තීරණය අද

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරනවාද? නැතිනම් පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදෙනවාද යන්න නිර්දේශ කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පවරා ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් අද (09) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ඒ ගැන අවසන් තීරයක් ගනු ඇති බව වාර්තා වෙයි.

පොලිස්පතිවරයාව සිටි සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වනදා විශ්‍රාමයෑමට නියමිතව සිටියදී ඔහුට මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදුනි.

එම මාස 03ක සේවා දිගුව පසුගිය ජුනි මස 25 වනදා අවසන් වුණි.

ඒ අනුව, අදාළ කාලසීමාව අවසන් වී අදට දින 13ක් ගතවී ඇති පසුබිමකත් මෙතෙක් පොලිස්පතිවරයෙකු පත්කිරීමට විධායකය විසින් පියවර ගෙන නොමැත.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යාවරයා හා ජනාධිපතිවරයා අතර පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

එහිදී පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට ඒමට බොහෝ දුරට ඉඩ ඇති බවත් අනතුරුව ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරකු පත්කරනු ඇති බවත් වාර්තා වෙයි.