“එක්ස්ප්‍රස් පර්ල්” විවාදයේදී විජයදාස – තුෂාර ගැටෙති

“එක්ස්ප්‍රස් පර්ල්” විවාදයේදී විජයදාස – තුෂාර ගැටෙති

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යන මහත්වරුන් අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීමට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ විවාදයේ යෝජනාව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අදාලව කතා කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් යම් චෝදනාවක් කළේය.

මෙහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ඊට බාධා කරමින් කතා කරන්නට වූ අතර එහිදී දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය ඇතිවිය.

මෙහිදී තුෂාර ඉඳුනිල් දෙසට හැරුණු අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මේක පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් නොවෙයි. නීති හදන්න ආවා නම් පොයින්ට් ඔෆ් ඕඩර් ( රීති ප්‍රශ්න) දැනගෙන ඉන්න ඕන. ඔයා පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඉගෙන ගන්න.”

බොරුවට සද්දේ දාලා මගේ හඬ නවත්තන්න බැහැ. එක එක අය මෙතන බිරුවට මම මගේ කතාව නවත්වන්නේ නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා-

අධිකරණ ඇමතිතුමා රීති ප්‍රශ්නයක් මතු කරලා තමයි කතා කරන්නේ. ඒ රීති ප්‍රශ්නය ඉවර වුණාට පස්සේ ඔයාලගේ රීති ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එතකම් වාඩිවෙලා ඉන්න

තුෂාර ඉඳුනිල් මහතා-

විජේදාස රාජපක්ෂ මහත්තයා ම තමයි මේ සිද්ධිය ගැන ආන්දෝලනයක් ඇති කළේ. බිලියන ගණනක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරමින්. ඒ ප්‍රකාශය නිසා රටට විශාල අපකීර්තියක් ඇති වුණා. නම් ගම් සහිතව ලිපින සහිතව කිව්වේ. එදා එතුමා එහෙම කියනවා. අද කියනවා ඒව කතා කරන්න එපා කියලා. මොකක්ද මේ හතර බීරි කතාව.

විජයදාස රාජපක්ෂ මහතා-

විවාදයට යනවද නැද්ද කියලා ඔබතුමා තීන්දුවක් දෙන්න. ඔය ඩොලර් මිලියන දෙසිය පනහේ කතාව කිව්වේ ඔබතුමාලගේ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම. මමයි සිද්ධිය ගැන සී.අයි.ඩී එකට පැමිණිලි කළේ. ඔබතුමා ඒකද මේ අනිත් පැත්ත හරවන්න හදන්නේ.

 

Share This