මියගිය බිරිඳට සෑයේදී පණ ඇවිත්

මියගිය බිරිඳට සෑයේදී පණ ඇවිත්

මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි 52 හැවිරිදි කාන්තාවක් සෑයට ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මීට සති දෙකකට පමණ පෙර නිවසේ ඇති වූ ගින්නකින් දරුණු ලෙස පිළිස්සීමට ලක්ව තිබූ අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා MKCG වෛද්‍ය විද්‍යාලය හා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇයගේ සිරුරෙන් අඩක් පමණ පිලිස්සුම් තුවාල සහිතව ඇය සිට ඇත.

ඇය අසාධ්‍ය තත්වයෙන් සිටියද, පවුලේ අයහපත් මූල්‍යමය තත්ත්වය හේතුවෙන්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව වෙනත් රෝහලකට ගෙන යාමට ඔවුන්ට නොහැකි වී ඇති අතර ඇයගේ සැමියා විසින් මෙම කාන්තාව යළි නිවෙස වෙත රැගෙන විත් තිබේ.

දින කිහිපයකට පසු ඇය දිගටම දෑස් වසාගෙන සිටීම හේතුවෙන් ඇයගේ සැමියා වන සිබාරම් පාලෝ ඇය මිය ගොස් ඇතැයි අනුමාන කර  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් හෝ මරණ සහතිකයක් ලබා ගැනීමට උත්සාහ කිරීමකින් තොරව ඇයව අවමංගල්‍ය රථයකින් ආදාහනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

එහිදී නැවත ඇයට සිහිය ඒම හේතුවෙන් ඇගේ දේහය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ අවමංගල්‍ය රථයෙන්ම ආපසු නිවසට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, මේ දක්වා ඇය ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැති වීම නිසා ජීවිතයත් මරණයත් අතර සටන් කරන බව ඇයගේ නෑදෑයන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Share This