අපරාධකරුවන් සහ ගිනි අවි ගැන තොරතුරු කියන අයට දෙන ගාස්තු වැඩිකරයි

අපරාධකරුවන් සහ ගිනි අවි ගැන තොරතුරු කියන අයට දෙන ගාස්තු වැඩිකරයි

සංවිධානාත්මක අපරාධවල යෙදෙන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් විසින් භාවිත කරනු ලබන ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නැවතත් තීරණය කර තිබේ.

මේ අනුව තොරතුරු ලබාදෙන්නන් වෙත එම මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.

ටී පනස්හය ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට මේ අනුව කටයුතු කෙරේ.

එමෙන්ම සැකකරුවකු නොමැතිව ටී පනස්හය ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරු ලබා දෙන්නෙකුට ද එම මුදලම ත්‍යාගයක් ලෙස ලැබෙනු ඇත.

රිපිටර් තුවක්කුවක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගතහොත් එම තොරතුර ලබාදෙන්නාට රුපියල් දෙලක්ෂ පනස්දාහක් ද සැකකරුවෙකු නොමැතිව රිපිටර් තුවක්කුවක් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන අයට රුපියල් ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් ලැබෙනු ඇත.

විදේශීය නිෂ්පාදිත පතරොම් තුවක්කුවක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් පනස් දහසක් ද පතරොම් තුවක්කුවක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන අයකුට රුපියල් විසිපන්දහසක් ද පිස්තෝල තුවක්කුවක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන අයකුට මුදලින් රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් ද සැකකරුවෙකු නොමැතිව පිස්තෝලයක් අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන්නෙකුට ද රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනු ඇත.

රිවෝල්වර් ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන අයට මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාගයක් ද සැකකරුවෙකු නොමැති රිවෝල්වරයක් අත්අඩංගුවට ද ගැනීමට තොරතුරු ලබාදෙන අයකුටද මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහසක් හිමිවනු ඇත.

විදේශීය නිෂ්පාදිත ස්වයංක්‍රිය ගිනි අවියක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන්නාට සහ සැකකරුවෙකු නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු ලබාදෙන්නාට මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින් පිරිනැමෙනු ඇත.

වෙනත් ස්වයංක්‍රිය නොවන ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ දෙකක් ද සැකකරුවෙකු නොමැතිව ගිනි අවිය පමණක් අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂයක් ද තොරතුරු ලබාදෙන්නාට පිරිනැමෙනු ඇත.

විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදුනහොත් රුපියල් පනස් දහසක්ද සැකකරු නොමැතිව අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා දෙන අයෙකුට රුපියල් විසිපන්දහසක් ද හිමි වේ.

ඒ හැරෙන්නට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී ඒ සැකකරුවාගේ තත්ත්වය අනුව අපරාධවලට අවශ්‍ය ප්‍රබල සැකකරුවෙකු, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අයෙකු, සංවිධානාත්මක අපරාධකරුවෙකු, වෙඩික්කරුවෙකු, ආධාර අනුබල දෙන්නවුන්, සහය ලබා දෙන්නවුන් සඳහා ලබාදෙන තොරතුරු නිවැරදි බවට තහවුරු වුවහොත් ඒ ලබාදෙන තොරතුරට සාපේක්ෂව මුදල් ත්‍යාග ලබාදීම ටද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, පොලිසිය පවසන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වල සිදු කෙරෙන මෙහෙයුම් සාර්ථක කර ගැනීමට මහ ජනතාවට තොරතුරු ලබා දෙන ලෙස ය.