උණ්ඩ 60 ක් සමග ගිනි අවිය ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වුණ දේ

උණ්ඩ 60 ක් සමග ගිනි අවිය ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වුණ දේ

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී සිය භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ, නිට්ටඹුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව පොලිසිය කියයි‍.

නිට්ටඹුව පොලිසියට අනුයුක්තව ගම්පහ උඩගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී මෙම කොස්තාපල්වරයා වගකිවයුතු නිලධාරිකුට දැනුම් නොදී අවසරයකින් තොරව තම භාරයේ තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ රාජකාරී ස්ථානයේ දමාගොස් තිබූ බව පොලිසිය පවසයි.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී බී.සී. ප්‍රසාද් මහතා විසින් ඡන්ද රාජකාරි පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම කොස්තාපල්වරයා මෙසේ ගිනි අවිය සහ උණ්ඩ කිසිවකුට නොදන්වා රාජකාරී ස්ථානයේ දමාගොස් ඇති බව අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව, එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ඊයේ (21) සිට රාජකාරී වැඩ තහනමට ලක්කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.