මාරක ළිද කඩා වැටී පහක් රෝහලට

මාරක ළිද කඩා වැටී පහක් රෝහලට

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති කානිවල් සැණකෙළියක ඉදිකර තිබූ මාරක ලිදක් ඊයේ (23) රාත්‍රියේ හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පැවසීය.

තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36, 40, 45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සිටින බවත් පොලිසිය කීය.

මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය පැවසීය.

මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය සදහන් කළේය.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම කානිවල් සැණකෙළිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ ඇති අතර, සැණකෙළි භූමියේ ඉදිකර තිබූ මාරක ලිද නැරඹීමට ද ජනතාව පැමිණ තිබේ.

මාරක ලිද ආරම්භ වීමට පෙර නරඹන්නන් ප්‍රවේශ පත් රැගෙන එයට ඇතුලු වී සිටියදී එක්වරම මාරක ලිදේ අඩි 15 ක් පමණ උසින් පිහිටි කොටසක් මෙසේ එක්වරම කඩා ගෙන බිමට වැටී ඇතැයි පොලිසිය පැවසීය.

තුවාලකරුවන්ගෙන් තිදෙනකු ගේ තත්ත්වය තරමක් බරපතළ බව ද රෝහල් ප්‍රකාශයකු කීය.

ඌව පලාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ .එම්.උපුල් චන්දන බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත දිවුලපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.