වව්නියාව උපන්දින සාද ඝාතන සිද්ධියට මුල අනියම් පෙමක්!

වව්නියාව උපන්දින සාද ඝාතන සිද්ධියට මුල අනියම් පෙමක්!

පසුගිය 23 දා වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට පැන ද්විත්ව ඝාතනයක් සිදුකර, එම නිවසට ගිනිතබා දරුවන් 05ක් ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට බරපතල තුවාල සිදුකරීමේ සාහසික අපරාධකරුවන්, රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන පැය 48ක රඳවාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග පවසයි.

ප්‍රහාරයට භාවිත කළ කඩු පොළු ඇතුළු ආයුධත්, ඒ සඳහා පැමිණි බව කියන යතුරුපැදි 3කුත් විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වවුනියාවේ මදවයිත්තකුලම්, පම්පේමඩු, ශිවපුරම් හා නෙලුකුලම් යන ප්‍රදේශවලිනි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 27, 31 හා 34 යන වයස්වල පසුවන වව්නියාවේ පදිංචිකරුවන්ය.

මෙම අපරාධය පසුපස ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමක් නොව, අනියම් සම්බන්ධයක් ගැටුමක් බවට පත්වීමෙන් ලබාදුන් මිනී මැරුම් කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක වීම බව මේ වනවිට රහස් පොලිස් විමර්ශකයින් විසින් හෙලි කරගෙන ඇත.

මෙම ප්‍රහාරයේ දී පසුව ඝාතනය වූ තරුණයා සිය පෙම්වතිය සමග ජීවත්වන අතරම ග්‍රාමනිලධාරිණියක සමගත් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ග්‍රාම නිලධාරණිය හා සම්බන්ධකම් පවත්වන තවත් පුද්ගලයෙක් විසින් මෙම තරුණයා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග පවසයි.

ඝාතකයින් උපන් දින සාදයක් පැවති සුරේෂ් නැමති අයගේ නිවසට කඩාවැදී ඇත්තේ මියගිය තරුණයා ඝාතනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමටම බව දැන් හෙළි වී ඇත.

සිද්ධියේ දී එම ස්ථානයේදීම මියගිය තරුණිය මුලින්ම මෙම ඝාතකයින් පැමිණෙන ආකාරය දැක බිය වී කෑගසා ඇති නිසා ඇයව නිහඬ කිරීමට ඇයට තියුණු ආයුධයකින් පහර දී මරාදමා තිබිණු බව විමර්ශන අංශ කියයි.

ඝාතකයන්ගේ ඉල්කකය වූ තරුණයා බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින සිටිය දී මියගියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන් හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන බවත් විමර්ශන අංශ කියයි.