වසන්ත යාපාගේ චෝදනා පදනම් විරහිතයි – ඖෂධ නීතිගත සංස්ථාව

වසන්ත යාපාගේ චෝදනා පදනම් විරහිතයි – ඖෂධ නීතිගත සංස්ථාව

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් SLIM pharmaceutical නමැති සමාගමකට විකුණන ලද අයිතමයන්, එම සමාගමින්ම වැඩිමිලට මිලදීගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කරන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

වසන්ත යාපා බණ්ඩාර මහතා පවසන Total parental Nutrition ඖෂධය රජයේ වෛද්‍ය සැපයුම් අංශයට පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කර සපයන ඖෂධයක් බැවින් කිසිදු බාහිර පාර්ශ්වයකට විකිණීම සිදු කරනු නොලබන බවයි එම සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටියේ.

එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කරන ලද කිසිදු ඖෂධයක් SLIM Pharmaceutical නමැති සමාගමට අලෙවි කර නැති බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ අලෙවි කරන්නේ, අලෙවි නියෝජිතයකු මාර්ගයෙන් පමණක් බවත් උක්ත සමාගම කිසිදු විටෙක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිතයකු ලෙස කටයුතු කර නැති බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණා.

එබැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව SLIM Pharmaceutical සමාගම වෙත අළෙවි කර නැවතත් මිලදීගෙන ඇතැයි කියන චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අවධාරණය කර සිටින්නේ.

කෙසේවෙතත් වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් එල්ල කරන ලද චෝදනා, නිසි පරිදි වටහාගෙන නොමැතිව හෝ සාවද්‍ය කරුණු මත ඉදිරිපත් කරන ලද්දක් බවට පෙනී යන බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පවසනවා.

Monara