එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

මේ වන විට මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට දෛනිකව ලැබිය යුතු එළවළු තොගවලින් 25% ක් වත් නොලැබෙන බවත්, මේ නිසා එළවළු මිල දිනපතා ඉහළ යමින් තිබෙන බවත් සීමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ පොළ සමිතිය සඳහන් කරයි.

මේ හේතුවෙන්, සමහර ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු.1800 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, බෝංචි හා වම්බටු කිලෝවක මිල රු. 800 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, සමහර ප්‍රදේශවලට ඇතිවී තිබෙන තද වැසි සහිත අයහපත් කාලගුණ තත්වය නිසා එළවළු වගාවන්ට දැඩි ලෙස හානි සිදුව තිබෙන බවත්, අලුතින් වගා කටයුතු ආරම්භ කර ගැනීමට නොහැකි වී තිබෙන බවට වාර්තා වන බවත් එම සංගමයේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා සඳහන් කළේය.

මේ නිසා එළවළු හිඟය අලුත් අවුරුදු සමය දක්වා පැවැතිය හැකි බවත්, එළවළු හිඟයක් ඇතිවන සෑම අවස්ථාවකදීම ජනතාව ලොකු ලූනු හා අර්තාපල් භාවිත කිරීම ඉහළ යාම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබූ බවත් හෙතෙම පැවසීය.

එහෙත් ලොකු ලූනු කිලෝවක තොග මිල රු.500ක් දක්වා ඉහළ යාම හා සිල්ලර මිල රු.600ක් බවට පත් වීම නිසා ලොකු ලූනු භාවිතය විශාල ලෙස අඩු වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙතෙක් කලක් ආර්ථික මධ්‍යස්ථානවල හා මැනිං වෙළෙඳ පොළෙහි ලොකු ලූනු කිලෝවක තොග මිල රු.100-රු.120 අතර මුදලක් ගෙන තිබූ බවත්, එකවරම ලොකු ලූනු කිලෝවක මිල රු.500ක් බවට පත් වූ බවත් එච්.එම්.උපසේන මහතා පැවසීය.

මේ නිසා විදේශ රටවල ලොකු ලූනු මිල සංසන්දනය කර මෙරට ජනතාවට අඩු මිලට ලොකු ලූනු ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, සතොස හරහා අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව තිබෙන බවත් හෙතෙම කීවේය.

පවතින තත්වය තුළ ආනයනික අර්තාපල් මිල පවා ඉහළ දැමීමේ හැකියාවක් තිබෙන බවත්, මේ නිසා අර්තාපල් මිල පාලනය කර ගැනීමේ කඩිනමින් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (28) ඇතැම් ප්‍රදේශවල එළවළු මිල ගණන් මෙසේ විය. කැරට් කිලෝවක් රු. 700යි. බීට් කිලෝවක් රු. 760යි. ලීක්ස් කිලෝවක් රුපියල් 400 යි. ගෝවා කිලෝවක් රුපියල් 600යි. රාබු කිලෝවක් රුපියල් 360යි. මාලු මිරිස් කිලෝවක් රුපියල් 700යි. වට්ටක්කා කිලෝවක් රුපියල් 200යි. තක්කාලි කිලෝවක් රුපියල් 600යි. වැටකොළු කිලෝවක් රුපියල් 560යි.

පතෝල කිලෝවක් රුපියල් 400යි. දඹල කිලෝවක් රුපියල් 480යි. මෑකරල් කිලෝවක් රුපියල් 560යි.

Share This