නිවුන් දරුවන් විකිණූ සැකකාරියන්ට ඇප – දරුවන් බාරගන්න මව බෑ කියයි

නිවුන් දරුවන් විකිණූ සැකකාරියන්ට ඇප – දරුවන් බාරගන්න මව බෑ කියයි

දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව ඇප මත නිදහස් කර තිබේ.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි.

ඒ අනුව, එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත් කෙරුණු අතර නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම නිවුන් දරුවන් දෙදෙනාව මිලදීගත් සැකකාරියන් දෙදෙනා ඊයේ, අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටය.

සිද්ධියට සම්බන්ධයෙන් 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුවය.

රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව එලෙස රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණි.

ඒ අනුව, එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් මත මෙම බිළිඳා අතිදැඩි කිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බව පොලීසිය හෙළි කරගෙන තිබුණි.

වැඩිදුර සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම දරුවාගේ අනෙක් නිවුන් සහෝදරයා පොළොන්නරුවේ පදිංචි තවත් කාන්තාවකට රුපියල් 25,000ක මුදලකට විකුණා ඇති බවය.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවද වාර්තා වෙයි.

Share This