තුර්කි ගුවන් සේවය ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය අද (30) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මීට වසර 10 ක පමණ කාළයක සිට තුර්කි ගුවන් සේවය මාළදිවයින හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබූ අතර, මෙසේ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමග තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වන බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ගුවන් තොටුපොළ තුළ පැවති පිළිගැනීමේ උත්සවයේ දී පැවසීය.

ඒ අනුව, තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන පළමු මංගල ගුවන් යානය අද උදෑසන 05.40 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය ගුවන් යානයේ ගුවන් මගීන් 209 දෙනෙකු පිටත්ව ගියහ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා සදහා පැය 08 ක කාළයක් වැය වන අතර සෑම සතියකම සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වල උදෑසන 05.40 ට තුර්කියේ සිට පැමිණෙන මෙම ගුවන් යානා, ආපසු උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලා පිටත් වීමට නියමිතය.

එසේම එළඹෙන 2024 වසරේ සිට සතියේ දින 07 ම මෙම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

Share This