අධිචෝදනා 37ක් යටතේ ට්‍රම්ප්ට එරෙහිව පවරා ඇති නඩුව අද

අධිචෝදනා 37ක් යටතේ ට්‍රම්ප්ට එරෙහිව පවරා ඇති නඩුව අද

රහසිගත රාජ්‍ය ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 37ක් යටතේ එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කැඳවීමට නියමිතව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ (12) ෆ්ලෝරීඩා වෙත ළඟා වී ඇති බවය.

මේ පිළිබඳව නිවේදනය කරමින් අමෙරිකානු බලධාරීන් සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා 2021 වසරේදී ධවල මන්දිරය හැර යාමත් සමග අමෙරිකාවේ වඩාත්ම සංවේදී ආරක්ෂක රහස් කිහිපයක් දැඩි අවදානමට ලක් කළ බවයි.

ඒ අනුව එරට රහස්‍ය න්‍යෂ්ටික ව්‍යපෘති ඇතුළු රහසිගත ලේඛන ඔහු අවභාවිත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව තිබූ ඇතැම් ලේඛන රජයේ නිලධාරීන් සොයාගැනීම වැළක්වීමට එම ලේඛන ඔහු ෆ්ලොරීඩාවේ ඔහුට අයත් නිවාඩු නිකේතනයක සැඟ වූ බව ද පිටු 49 කින් යුතු මෙම අධිචෝදනා පත්‍රයේ දැක්වේ.

මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 77 හැවිරිදි ට්‍රම්ප් වසර 20ක සිර දඬුවමකට යටත් විය හැකි බව විදෙස් වාර්තාවල සඳහන් ය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේෂකත්වය සඳහා තරග වැදීමට ඉදිරිපත් වී සිටීම ද විශේෂත්වයකි.

Share This