දුම්රිය ධාවනය ගැන දැනුම් දීමක්

දුම්රිය ධාවනය ගැන දැනුම් දීමක්

දුම්රිය ධාවනය අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (10) පස්වරුවේ අවසන් කිරීමට පියවර ගනු ලැබීය.

උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් පසුගිය 06වන දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබූ අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ලබාදුන් ලිඛිත පොරොන්දුවකට අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරුණි.

ඒ අනුව අද උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේය.

මේ අතර දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි සම කැඳවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේ, දුම්රිය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන වැඩපිළිවෙළ පරාජයට පත්කරන බවය.