කෝච්චියේ දමා ගිය ලක්ෂ පනහක රන් භාණ්ඩ බෑගය හිමිකරුවන් සොයා බාර දෙයි

කෝච්චියේ දමා ගිය ලක්ෂ පනහක රන් භාණ්ඩ බෑගය හිමිකරුවන් සොයා බාර දෙයි

මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතකව දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල අඩංගු බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරුවන් සොයා භාරදීමට පියවර ගෙන තිබේ.

මහනුවර කටුගස්තොට ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට අයත් මෙම භාණ්ඩ දුම්රියේ අමතකව ගොස් තිබුණි.

හිරුණි නිමාෂාගේ ගම මාතර පාලටුව අත්තුඩාව වන අතර ඔවුන් මහනුවර සිට ඇගේ මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිනීම සඳහා මෙම දුම්රියේ පැමිණ තිබුණි.

මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇත.

මොවුන් සතුව තිබූ ගමන් බෑග් කීපයක් දුම්රියේ වාඩිවී සිටි තැන සීට් එක යට තබා තිබී ඇති අතර කොළඹ කොටුවෙන් බැසීමේ දී මෙම බෑගය ඔවුන්ට ගැනීමට අමතකව ඇත.

කොටුවට පැමිණි දුම්රිය මාලිගාවත්ත අංගනයට දැමීමට පෙර එහි පරික්ෂා කිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට මෙම බෑගය හමුවී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබුණි.

බෑගය තුළ පවුම් 3 ක රන් මාලයක් අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ ද රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් හා රුපියල් ලක්ෂ 35 ක ඉතුරුම් සහතිකයක් ද බැංකු පොත් මෝටර් රථයේ යතුරු හැඳුනුම්පත් ඇතුළු දේපල තිබී ඇත.