දුම්රිය වර්ජනය අදත්

දුම්රිය වර්ජනය අදත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටය.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව සඳහන්ය.

කෙසේවෙතත්, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් තවදුරටත් ප්‍රතිචාර නොදක්වන්නේනම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් ඊයේත් දුම්රිය ගමන් වාර 70 කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර රාත්‍රී තැපැල් දුම්රිය සහ දුර ගමන් දුම්රිය ගමන් වාර රැසක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි, දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

මේ අතර තම ගැටලුවලට අද දිනයේ නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් වර්ජනයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කරන බවයි, ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දී අදාළ වෘත්තීය සමිති සාකච්ඡාවට කැඳවා ඇති බවයි, දුම්රිය දෙපර්තමේන්තුව ප්‍රකාශ කළේ.