උතුරු දුම්රිය මාර්ගය අද සිට තාවකාලිකව වැසෙයි

උතුරු දුම්රිය මාර්ගය අද සිට තාවකාලිකව වැසෙයි

පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය අද (07) සිට තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගියදා (05) යාපනය ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වන අතරතුර දී යාපනය දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේ දී ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහි දී පසුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් උතුරු දුම්රිය මාර්ගය වෙනුවෙන් විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙමින් විශාල ආයෝජනයක් සිදු කරන ලද බවත් ඒ යටතේ මේ වන විටත් අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය කිරීමට හැකි ආකාරයෙන් නවීකරණය කර ජනතා අයිතියට පත් කර ඇති අතරම එළඹෙන හත් වැනිදා සිට ආරම්භ කෙරෙන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමෙන් අනතුරුව තවත් වසර පනහක් පමණ වනතුරු උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අති විශාල පිරිවැයක් දරමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව භාණ්ඩ සහ මගී ප්‍රවාහනයටත් සංචාරක ව්‍යාපාරයටත් ගැලපෙන ආකාරයේ පිරිවැය පිළිබිඹු වන මිල ප්‍රතිපත්තියක් යටතේ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම ඉතාමත් වැදගත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම නව ඉන්දියානු මහ කොමසාරිස්වරයා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවකදී උතුරු දුම්රිය මාර්ගය පහසුවෙන්ම විදුලියට පරිවර්තනය කිරීමට හැකියාව පවතින බවත් ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

පවතින මූල්‍ය තත්ත්වය යටතේ රජයට නව ආයෝජන සඳහා මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බැවින් පුද්ගලික අංශයටද සංචාරක දුම්රිය සඳහා ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්තා ලබාදීම කාලෝචිත වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.