කැබ් හා යතුරුපැදි අනතුරින් අඹුසැමි යුවළක් මරුට

කැබ් හා යතුරුපැදි අනතුරින් අඹුසැමි යුවළක් මරුට

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, බද්දේගම, හල්පතොට, පෙඩ්ඩෘවත්ත ලිපිනයේ පදිංචි ප්‍රසන්න ගුරුසිංහ (43) සහ ඔහුගේ බිරිඳවන දහනායක මුදියන්සේලාගේ ගංඟා නිල්මිණි (38) නැමැති අඹුසැමි යුවළකි.

ඊයේ (06) රාත්‍රියේ කුරුඳුගහහැතැප්ම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ ඇල්පිටිය දෙස සිට කුරුඳුගහහැතැප්ම දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් බරපතල තුවාල ලබාසිටි යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත පිටත්කර යවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දෙදෙනා මියගොස් ඇති බවද පොලිසිය කියයි.

අනතුරට පත් කාන්තාව විදේශ රැකියාවකට යාමට සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා මතුගම ප්‍රදේශයේ පැවැති පුහුණු වැඩමුළුවක් සඳහා සහභාගීවී සැමියා සමග ආපසු නිවෙසට එමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

මෙම රිය අනතුරෙන් යතුරු පැදියට දැඩි අලාභ හානි සිදුවී ඇති අතර කැබ් රථයේ ඉදිරිපසටද අලාභ හානි සිදුවී ඇත.

අනතුර සිදුවීමෙන් පසු කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති බවත්, ඔහු කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකයෙකු බවත් පොලිසිය පවසයි. ඔහු බීමත්ව සිටි බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.

අනතුරට පත් රථ දෙකම පොලිස් භාරයට ගෙන තිබේ. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This