කෝල් කරලා TIN අංකය ගැන විස්තර ඉල්ලුවොත් දෙන්න එපා – සියලුම බැංකු ගිණුම් හිමියන්ට දැනුම්දීමක්!

කෝල් කරලා TIN අංකය ගැන විස්තර ඉල්ලුවොත් දෙන්න එපා – සියලුම බැංකු ගිණුම් හිමියන්ට දැනුම්දීමක්!

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් ජනතාව රවටා පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර්වරුන් කල්ලියක් ක්‍රියාත්මකව සිටින බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මේ වනවිට එම වංචනික කල්ලියට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් අය පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි, එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටී.

තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර ඇත.

එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමග සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් දුරකථන මගින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.