ගුණාත්මක රාජ්‍ය සේවයකට පාඨලීගෙන් යෝජනා

ගුණාත්මක රාජ්‍ය සේවයකට පාඨලීගෙන් යෝජනා

ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි.

වසර 2005 දී ලක්ෂ හයක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 14 ක් දක්වා වැඩිවී තිබේ. ඔවුන්ගේ සේවා කාර්යක්ෂමතාව වර්ධනය කිරීමෙන් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ හැකියාව ඇත.

එහිදී සේවා ගුණාත්මකභාවය පිළිබඳ දර්ශක මත පදනම් ක්‍රමයක් හඳුන්වාදීම සුදුසු බව රණවක මහතා පෙන්වා දෙයි.

වඩා කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුය. දැනට සිදුවන්නේ වයස සහ සේවා කාලය මත පදනම් උසස්වීම් ක්‍රමයකි.

එය දක්ෂතා සහ හැකියාව මත පදනම් වූ ක්‍රමවේදයක් දක්වා වෙනස්විය යුතු බව රණවක මහතාගේ අදහසයි. එහිදී නිවැරදි, කාර්යක්ෂම සේවා සැපයීමට සේවකයෝ පෙළඹෙති. ඔවුන් අතර තරගකාරීත්වයක් නිර්මාණය වන අතර සේවා ගුණාත්මකභාවයට එය වැදගත් වෙයි.

මහජන නියෝජිතයන් සම්බන්ධව ද මෙවැනිම ක්‍රියාවලියක් හඳුන්වා දීම අතිශය වැදගත් බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

වගකීම් ඉටුකිරීමේ ඉලක්ක ඔවුන් වෙත ලබා දිය යුතුය. වගකීම් ඉටුකිරීමේ හැකියාව ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට පවතී ද යන්න තක්සේරු කිරීම ද වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයාගේ අදහසයි.

දේශපාලනයට පිවිසෙන පුද්ගලයන්ගේ, ඒ සඳහා පවතින සුදුසුකම් ද අවධානයට ගත යුතුය. මෙම ක්‍රමවේද මගින් කාර්යක්ෂම, සාර්ථක රාජ්‍ය සේවයක් සථාපනය වනු ඇතැයි රණවක මහතා විශ්වාසය පල කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් සමග පැවති සාකච්ඡාවකදීය.