උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත් වෙයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු අද (01) සිට ඉවත් වූහ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ, දීමනාවෙන් අත්තිකාරම් මුදලක් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් අද දහවල් වන තෙක් එම අත්තිකාරම් මුදල නොලැබීම නිසා ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බවත් උන්වහන්සේ කීහ.

ගුරුවරු ස්වේච්ඡාවෙන්ම උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත්ව ඇති බව පැවසූ යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ මෙය දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි පහරක් බව ද සඳහන් කළහ.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය ආචාර්යය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර හා හැඟීමේ කටයුතුවල යෙදෙන පරීක්ෂකවරුන්ට දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව කප්පාදුවකින් තොරව එලෙසම ලබාදීමට පියවර ගන්නා බවය.

ලබන සදුදා කැබිනට් මණ්ඩලය රැස්වූ පසු ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.