උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පිලිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පිලිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා හෙට (5) හෝ අනිද්දා (6) ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

එම ආචාර්යවරුන්ට උපරිම දීමනා දීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ දරුවන්ද අපොසඋසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෙයින් ගෙවල්වලින් ප්‍රශ්න මතුවන නිසා ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීවේය.

තවද අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනටම පැවැත්වීමට උපරිම උත්සාහ දරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාකර අවසන්වූ වහාම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙන බවද ඔහු කීවේය.

මේ අතර ජාත්‍යන්තර පාසල් 350ක් රටපුරා පවතින බවත් මෙම ජාත්‍යන්තර පාසල් නියාමනයට නිශ්චිත ආයතනයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර පාසල් නියාමනය කළ නොහැක්කේ ඒවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති නිසා බව පැවසූ ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම නියාමන ආයතනයක් පිහිටුවීමට නීති සම්මත කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.