‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම්

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ රාජකාරි තාවකාලිකව අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් නීතිඥ චන්න වීරක්කොඩි මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සහකාර සුරාබදු කොමසරිස්වාරයෙකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව ය.

යම් හෙයකින් මෙම නිලධාරියා වරදක් සිදු කර ඇති බවට අධිකරණය මගින් තහවුරු වුවොත් ඊට අදාළ පියවර ගන්නා බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සුරාබදු නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.