සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයක

සිය ඉල්ලීම් සදහා ලබාදුන් එකඟතාවන් ඉටුකිරීමට මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් එයට එරෙහිව අද (09) සිට පළාත් මූලික කර ගනිමින් වැඩවර්ජන ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ අනුව, අද දිනය තුළදී උතුරු මැද පළාතේ රෝහල්වල හෙද, අතුරු වෛද්‍ය සේවා, පරිපූරක වෛද්‍ය සේවා හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක කාලයක් වර්ජන ක්‍රියාමාර්ගයක් සිදුකරන බවයි, එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ.

මේ ආකාරයට මූලික අදියරේදී සෑම පළාතක් තුළම තිබෙන රෝහල්වල පැය 04ක වැඩවර්ජන ක්‍රියාමාර්ග සිදුකරන බවද ඔහු පැවසීය.

මේ මස 13වන දින මධ්‍යම පළාතේ රෝහල්වලත්,14 දින සබරගමුව පළාතෙත්, 15 දින වයඹ පළාතෙත්,16 දින දකුණු පළාතෙත්, 20වන දින ඌව පළාතෙත් සහ 21 දින බස්නාහිර පළාතත් මූලික කර ගනිමින් වැඩවර්ජන ක්‍රියාමාර්ග සිදුවන බවද එම සන්ධානය සඳහන් කරයි.

ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කරනලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා ලද නමුත්, එකඟ වූ පරිදි මෙතෙක් පොරොන්දු ඉටුවී නොමැති නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකරන බවද ඔවුන් පෙන්වා දෙයි.

අදාළ තාක්ෂණික වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව පසුගිය මස 02වන දින පොරොන්දු වූ ආකාරයට මුදල්කොටසක් මැයි මාසයේ වැටුපට එක් කරන බවත්ඉතිරි කොටස ලබාදීම පිළිබඳව සති හතරක් ඇතුළත නිල දැනුම් දීමක් සිදු කරන බවට රජයේ එකඟතාවය වුවද, ඉතිරි කොටස පිළිබඳ මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදුකර නොමැති බවද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

කෙසේවෙතත්, අද දින පැවැත්වෙන වර්ජනය සඳහා හෙද හෙදියන්ගේ සහභාගීත්වයක් සිදුනොවන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බි.මැදිවත්ත මහතා සඳහන් කළේය.