ඝාතන රැසක වෙඩික්කරුවෙක් වන යුද හමුදා විශේෂ බලකා සාමාජිකයෙක් අත්අඩංගුවට

ඝාතන රැසක වෙඩික්කරුවෙක් වන යුද හමුදා විශේෂ බලකා සාමාජිකයෙක් අත්අඩංගුවට

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මන්නාරම උතුරු පළාත විශේෂ විමර්ශන බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගන්නා විට කිලිනොච්චිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී 2023 -06 -21 වෙනි දින කොස්ගොඩ ප්‍රදේශයේ දී විජිත් මහේන්ද්‍ර සිල්වා නොහොත් රන් මල්ලි නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

2024 ජනවාරි 18 වෙනි දින බලපිටිය ප්‍රදේශයේදී මාළු ව්‍යාපාරිකයකු ඝාතනයට පැමිණ සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්සප් තාක්ෂණය ඔස්සේ කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට යොදාගත් ගිනි අවියේ ඡායාරූප රැසක් අඩංගුව තිබූ අතර එම ඡායාරූප එවා තිබුණේ පොලිසිය සොයමින් සිටි සැකකාර ලාන්ස් කෝප්‍රවරයා බව පොලිසිය සඳහන් කරයි.

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටි නැමැත්තාගේ වෙඩික්කරු ලෙස සැකකරු කටයුතු කළ අයෙක් බවත් එක් ඝාතනයක් වෙනුවෙන් සැකකරුගේ ගිණුමට රුපියල් ලක්ෂ තුනක මුදලක් බැර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන කහතුඩුව පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව කකහතුඩුව පොලිසියේ නිලධාරීන් සහ මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ සමන්විත දැඩි ආරක්ෂාවක් පොලිස් භූමියට යොදා තිබෙනු දක්නට ලැබිණි.

කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන කරනු ලබයි.