දරුවන් අතර මේ දවස්වල පැතිර යන රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

දරුවන් අතර මේ දවස්වල පැතිර යන රෝගයක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල දරුවන් අතර ඉහළ ශ්වසන මාර්ගයේ රෝග බොහෝ විට වැඩිවී ඇතැයිද, ළමා හතියේ වැඩිවීමක්ද දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මූලිකවම ඉහළ ශ්වසන මාර්ගයේ ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් උණ රෝග පවතින බවද, මෙහි රෝග ලක්ෂණ වශයෙන් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හිසරදය දක්නට ලැබෙන අතර ඇතැම් ළමුන්ට වමනයද පවතිව බව පැවසුවේය.

මේ දිනවල පවතින සීතල සහ වර්ෂාපතනයත් සමග ළමා හතිය වැඩිවී ඇතැයිද, වෛරස් උණට පසුකාලීනව බොහෝ විට ළමා හතිය දක්නට ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල ළමුන් සංචරණය කරන නිසා පාචනය වැනි තත්ත්වයන්ද ළමුන් අතර දක්නට ලැබෙන බවද, බඩඑළිය, වමනය, උණ වැනි රෝග ලක්ෂණ මෙහිදී හටගන්නා බවද අවධාරණය කළේය.

දින 03කට වඩා උණ පවතින්නේ නම් මෙම දිනවල ඩෙංගු පවතින නිසා පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගන්නා ලෙසද, අවට වටපිටාව පිරිසිදු කරගනිමින් ඩෙංගු බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙසද පැවසූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පාචනය වැනි තත්ත්වයන් පවතී නම් ළමුන්ට ස්වභාවික දියර ආහාර දෙන ලෙසද පැවසුවේය.

බැදි හාල් කැඳ, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, පාන් ටෝස්ට්, කෙසෙල් ගෙඩි, තැඹිලි වතුර යෝගට් වැනි දෑ දීම සුදුසු බවද, තෙල්, බටර්, ගස්ලබු, කොළ ජාති, චීස් ආදිය ලබාදීමෙන් වළකින ලෙසද සඳහන් කළේය.

Share This