අධිවේගී මාර්ග රාජකාරීවලින් STF ඉවතට!

අධිවේගී මාර්ග රාජකාරීවලින් STF ඉවතට!

අධිවේගී මාර්ගයන්හි රාජකාරි සිදුකරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම නොවැළැක්විය නොහැකි වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු පැවසීය.

ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කලේ, අධිවේගී මාර්ගයේ වාහනයක් හදිසි අනතුරකට ලක් වූ අවස්ථාවකදී යම් ගිනි ගැනීමක් ඇති වුවහොත් වාහනය තුළ සිරවී සිටින පුද්ගලයන් ක්ෂණිකව ඉවතට ගැනීමේ මෙන්ම ගිනි නිවීමේ හා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ මනා පුහුණුවකින් සමන් විත එම සෙබළුන් ඉවත් කිරීම දැඩි ගැටලු සහගත තත්ත්වයක් බවය.

අධිවේගී මාර්ගය ආරම්භ කර ගෙවී ගිය වසර 12 තුළ ජීවිත සිය ගණනක් බේරා ගත් එම සෙබළුන් සිදුකළ කාර්යය මිල මුදලින් මැනිය නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ එම් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මේ වන විට කටුනායක සිට මත්තල දක්වා සීදූව ගැලනිගම කුරුඳු ගහ පින්නදුව සහ සූරියවැව අධිවේගී පිවිසුම් මධ්‍යස්ථාන 5 ක විශේෂ කාර්ය බළකා සෙබළුන් 200 කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන අතර මේ දක්වා අධිවේගී මාර්ගය තුළ කිසිදු අපරාධයකට හෝ පාතාල ක්‍රියාවකට හිස එසවීමට අවකාශයක් ලැබී නැත්තේ එම සෙබළුන් රාජකාරියට එහා ගිය සේවාවක් සිදුකරමින් මගීන්ගේ ආරක්ෂාව මනා ලෙස තහවුරු කර ඇති බැවිනි.

අධිවේගී මාර්ගය ආරම්භ කළ කාල වකවානුවලදී එහි ගමන් ගන්නා වාහන වලට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම ව්‍යසනය මුලිනුපුටා දමා වාහන වල ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කෙරිණි.

එතනින් නොනැවතුණු ඔවුන් ක්ෂණික මාර්ග බාධක දමා පිවිසුම් වලදී වාහන පරීක්ෂාව සිදු කිරීමද අපරාධ අවම කිරීමට ගත් තවත් එක් පියවරකි.

දෛනිකව අධිවේගී මාර්ගය පාවිච්චි කරන්නන් ගේ ජීවිත ආරක්ෂා කරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පාතාලය මර්දනය කිරීමට යැයි පවසා අධිවේගී මාර්ග සේවාවෙන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවටද වැඩිදුරටත් දැනගන්නට ඇත.

මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් ඊ එස් වීරකෝන් මහතා ගෙන් විමසීමේ දී,

“ඔව්, පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කර ගැනීමට සූදානමක් පවතිනවා, අප ඉල්ලීමක් කර තිබෙනවා ඔවුන් ඒ ආකාරයෙන් ම රඳවා තබන්න කියලා ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙනවා.” යැයි පැවැසීය.

Share This