ලංකාවට “Starlink” ගේන්න TRCSL අනුමැතිය

ලංකාවට “Starlink” ගේන්න TRCSL අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් ඉන්පසුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

අධ්‍යාපන, පර්යේෂණ හා ධීවර ක්ෂේත්‍ර සඳහා වේගවත් අන්තර්ජාල සේවාවක් මෙමඟින් සැපයීය හැකි බවත් ලෝකයේ ඕනෑම තැනක සිට මෙම අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇති හැකියාව ද තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය දා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවවේදී “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ.

“Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි.

Share This