සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – කොදෙව් තරඟය අද

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – කොදෙව් තරඟය අද

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (07) පැවැත්වේ.

මෙම තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගී වූ තරග සියල්ලම ජයගනිමින් මේ වනවිටත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටී.

මේ අතර, අද තරගයේ දී ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි,වාර්තා වන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් චාමික කරුණාරත්නට අවස්ථාවක් හිමි වීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන්ඉරියව් ක්‍රිඩක ජේසන් හෝල්ඩර් සහ වේගපන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් යළි කොදෙව් රාජ්‍ය බලා පිටත්ව යෑම හේතුවෙන් මෙම තරගය සඳහා ඔවුන් සහභාගී නොවන බව වාර්තා වෙයි.

මේ වන විට අයිසීසී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් කොදව් පිල 10 වැනි ස්ථානයෙත් පසු වෙයි.

ඉතිහාසයේ පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියකට එක් වීමේ අවස්ථාව අහිමි වූ කොදෙව්වන් මෙම තරගාවලියේ සහභාගී වන අවසන් තරගය ද මෙය වේ.

මෙම කණ්ඩායම් දෙක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේදී 63 වරක් හමුව ඇති අතර, ඉන් තරග 29ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී කොදෙව් පිල තරග 31ක් ජය ගැනීමට සමත්ව තිබේ. තරග 3ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

මේ දෙපිල අවසන් වරට 2021 වසරේ කොදෙව්හිදී හමුවූ අතර, තරග 3කින් සමන්විතව පැවති එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේ කොදෙව් කණ්ඩායමයි.

දෙපිල මින් පෙර 2016 වසරේ අද තරගය පැවැත්වෙන හරාරේ ක්‍රීඩා සමාජ පිටියේදී තරග කළ අතර, එවර කොදෙව්වන්ට ලකුණු 62ක ජයක් අත්ව තිබේ.