ශ්‍රී ලන්කන් 45 වැනි සංවත්සරයට කළ දේ

ශ්‍රී ලන්කන් 45 වැනි සංවත්සරයට කළ දේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 දිනට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත කැදවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විද ගැනීමට ද අවස්ථාව අද 22 දින උදා කර දී තිබුණි.

මේ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද අනුග්‍රහය දක්වා තිබේ.

ජාතියේ අනාගත භික්ෂු පරපුර මෙම සාමනේර භික්ෂූන් වහන්සේලා ගෙන් ආරම්භ වන හෙයින් උන්වහන්සේලාට රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැන හදුනා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතා වටිනා කර්තව්‍යයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙම වැඩසටහන සදහා වාද්දුව , දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 05 – 20 ත් අතර පසුවන සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් සහභාගී වී සිටියහ .

මෙම භික්ෂූන් වහන්සේලා කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , රේගු පරිශ්‍රය , ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය , ගුවන් යානා අංගන මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට පිවිස එහි සියලුම ක්‍රියාකාරිත්වයන් ද සවිස්තරාත්මකව දැන ගැනීමට අවස්ථාව උදාකර දී තිබුණි .

මෙවැනි අත්දැකීමක් ගුවන් ගමනක යෙදෙන ගුවන් මගියෙකුට හැර වෙනත් පුද්ගලයෙකුට ලබා ගත නොහැකි වීම විශේෂත්වයකි .

මෙම භික්ෂූන් වහන්සේලාට කටුනායක ගුවන් තොටුපොළ සේද මාවත පර්යන්තයේ දී දහවල් දානය පිරිනැමීමට ද මෙම වැඩසටහනේ සංවිධායකවරුන් පියවර ගෙන තිබුණි .